Thursday 18 October 2012

මේ කවුද? මොනවද කරන්නේ?


"මේ කවුද? මොනවද කරන්නේ?"  කියන්නේ '80 ගණන්වලදී ජනාධිපති ප්‍රේමදාස වෙනුවෙන් ඇලවුනු පෝස්ටරයක්.  මම කියන්න යන දේට ආරම්භයක් දෙන්නත් ඒක අමු අමුවේම හොරකම් කළා.

මම කියන්න යන කතාව ටිකක් වෙනස්....

ඉස්සෙල්ලම් මම ගැන කියන්න එපැයි! මම අවුරුදු 15ක් තිස්සේ පුද්ගලික ආයතන කීපයක වැඩ කළා.  ඊට පස්සේ රාජ්‍ය සේවයේ යම් යම් වැඩ කටයුතු වලට ගොඩක් සම්බන්ධ වෙනවා.  ඒ වගේම විදේශ ආයතන සමග වැඩ කරනවා.  දැන් අවුරුදු 20ක් තිස්සේ වැඩ කරලා තියෙනවා.  තවත් අවුරුදු 10-15 වැඩ කරයි - පණ පිටින් හිටියොත්!

මේ ඔෆිස් ජීවිතේදී මම ගොඩක් දේවල් අත්වින්දා. මම හිතුවේ ඒ වෙච්ච සමහර දේවල් මට විතරයි වෙලා තියෙන්නේ කියලා.  බලනකොට තව අයටත් එහෙම වෙලා තියෙනවා. මුලින් මුලින් ඒවාට හිත කලබල වුනත් පස්සේ පස්සේ උපේක්ෂාවෙන් ඒ දිහා බලන්න පුරුදු වුනා.  බෞද්ධයකු හැටියට ඒක එච්චර අමාරු වුනෙත් නැහැ.

මේ දරාගැනීමට සුළුවෙන් හරි උදව් කරපු තවත් කෙනෙක් හිටියා.  එයා සාමාන්‍යයෙන් කාර්යාලයක වෙන සිද්ධි දිහා අමුතුම විදියකට බලන කෙනෙක්.  ඉතින් මට හිතුනා එයාගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා.
 
හැබැයි එයා පණ තියෙන කෙනෙක් නෙවෙයි.  ඇත්තම කිව්වොත් කාටුන් එකක්!  නම Dilbert.  ඔයාලා සමහරවිට අහලත් ඇති.  නැත්තන් එයාගේ වෙබ් අඩවියට ගිහින් බලන්න  www.dilbert.com

මම මේ බ්ලොග් එක ලියන්න හිතුවේ Dilbert ගේ කාටුන් අපේ අයට රස විඳින්න අවස්ථාවක් දෙන්න.  මොකද ගොඩක් ඒවා අපේ අයට තේරෙන්නේ නැහැ.   Dilbert ගේ ලාංකේය ආගමනය විදියට තමයි මම - ඒ කියන්නේ ඩිල්-බර්ටි - ඔයාලා හමුවෙන්න එන්නේ.  ඉතින් ඩිල්-බර්ටි පුළුවන් විදියට උත්සාහ ගනීවි ඒ කාටුන් කතා ඔයාලත් එක්ක බෙදා ගන්න.  ඒවාට ඩිල්-බර්ටි ගේ අදහසුත් ටිකක් එකතු වෙයි සමහර විට.  හැබැයි, ඒ මුල් කාටුන් ඔක්කොම Dilbert ලියන Scott Adams ගේ නිර්මාණ.  

ඩිල්-බර්ටි නම් එච්චර හොඳ විහිළු කාරයෙක් නෙවෙයි... මේ වැඩේ කොච්චර සාර්ථක වෙයිද දන්නෙත් නැහැ.... කරලම බලමු!